Kangara

යහපත් අනාගතයකට කාබනික පොහොර

“"පොළොව හාරන ආකාරය සහ පස රැක ගැනීම අමතක කිරීම යනු අපවම අමතක කිරීමකි.”

(මහත්මා ගාන්ධි)

මීට වසර 8000කට පෙර සිටම ගොවිතැන් සදහා, බෝග වර්ධනය සදහා පොහොර යෙදීම සිදුවූ බවට සාක්ෂි පවතී. පුරාණ කාලයේ කාබනික පොහොර භාවිතා කිරීම සිදුවූ අතර බැබිලෝනියන්, ඊජිප්තුවරුන්, රෝමවරුන් සහ මුල් ජර්මානුවන් අස්වැන්න වැඩි කිරීම සඳහා ඛනිජ හෝ පොහොර භාවිතා කල බව පසු කාලින වාර්තා වල සදහන් විය. වර්තමානයේ දක්නට ලැබෙන රසායනික පොහොර නිෂ්පාදනයේ මුලික පදනම 1840 දී ජස්ටස් ලිබිග් විසින් සකස් කරන ලද අතර ඔහු ශාක වර්ධනයට අවශ්‍ය මූලද්‍රව්‍ය ගැන මුලික අවධානය යොමු කළේය. 1933 දී පමණ දෙවන ලෝක යුද්ධ සමයේදී එක්සත් ජනපදයේ පොහොර සඳහා ඝන ඇමෝනියම් නයිට්රේට් භාවිතය විශාල පරිමාණයෙන් ආරම්භ විය. 1843 දී සුපර් පොස්පේට් නිෂ්පාදනය මහා පරිමාණයෙන් ආරම්භ වූ අතර K පොහොර කර්මාන්තය 1861 දී ජර්මනියේ දී ආරම්භ විය. කෘත්‍රිම පොහොර මගින් ලබා දුන් ක්ෂණික ප්‍රථිපල හා ඉහල අස්වැන්න ගොවීන් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ නිසා කෘතිම පොහොර සඳහා ඉල්ලුම ඉතා කෙටි කාලයකින් ඉහල ගියේය.

කාබනික කෘෂිකර්මාන්ත සංකල්පය 1900 ගණන්වල මුල් භාගයේදී ශ්‍රීමත් ඇල්බට් හොවාර්ඩ්, එෆ්.එච්. කිං, රුඩොල්ෆ් ස්ටයිනර් යන අය විසින් නැවත වරක් ලොවට හදුන්වා දීමට ක්‍රියා කරන ලද අතර ඔවුන් සත්ව පොහොර (කොම්පෝස්ට් පොහොර), ආවරණ බෝග, බෝග හුවමාරුව සහ ජීව විද්‍යාත්මකව පදනම් වූ පළිබෝධක භාවිතය ධෛර්යමත් කළේය. හරිත වර්ධනය සදහා කෘෂිකර්මාන්තය යොදා ගැනීම ලෝකයේ දැනට පවතින නවතම සංකල්පය වන අතර එය පාරිසරික හායනය, ජෛව විවිධත්වය අහිමි වීම සහ තිරසාර නොවන ස්වභාවික සම්පත් භාවිතය වැළැක්වීම මුලික අරමුණු කර ගයි. මෙම සංකල්පයේ ඉලක්කය වන්නේ පාරිසරික වශයෙන් තිරසාර වර්ධන ආකෘතියක් වෙත ගමන් කිරීමයි.